දියවැඩියාව යනු කුමක්ද?
ඉන්සියුලින් ශ්‍රාවය අඩු වීම නිසා හෝ අග්න්‍යාශයේ සෛල මට්ටමේ ඉන්සියුලින් නිපදවීමේ සිදුවන දෝෂයක් නිසා දිගුකාලීනව රුධිර ගත ග්ලූකෝස් මට්ටම ඉහල මට්ටමක පැවතීමේ රෝගී තත්වය දියවැඩියාවයි.
දියවැඩියාවේ දී සෛල මට්ටමේ කුමක් සිදුවේද?
ශරීරයේ සෛල සජීවීව පවත්වාගෙන යාමට ප්‍රධාන ශක්ති ප්රභවය ලෙස ග්ලූකෝස් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම මොළය තම එකම ශක්ති ප්රභවය ලෙස ග්ලූකෝස් භාවිතා කරයි.
අපේ ශරීරයේ බාහිර ප්‍රධාන ග්ලූකෝස් ප්රභවය ලෙස බත්, අල, පිටි ආශ්රිත ආහාර, සහ පැණිරස කෑමවර්ග වැනි කාබෝහඩ්රේට බහුල ආහාර ක්‍රියාකරයි. සීනි සහ පිටි ආහාර වල අඩංගු කාබෝහයිඩ්රේට් ආහාර මාර්ගය තුලදී ජීර්ණය වී, ග්ලූකෝස් බවට පරිවර්තනය වී රුධිරයට අවශෝෂණය කරගනියි. ඊට අමතරව අක්මාව මගින් අප කුසගින්නේ සිටින අවස්ථා වලදී ඇමයිනෝ අම්ල හෝ ග්ලිසරෝල් මගින්ද ග්ලුකෝස් නිපදවයි.
ග්ලූකෝස් වලට සෛල තුලට ඇතුලු විය හැක්කේ ඉන්සියුලින් පවතින විට පමණි. ඉන්සියුලින් සෛල වලට ග්ලූකෝස් ඇතුලු වීමට ද්වාර විවර කරන යතුරක් ලෙස ක්‍රියා කරයි. ඉන්සියුලින් යනු අගන්‍යාශයේ නිපදවන හෝමෝනයකි. අප ආහාර ගත් විට අග්න්‍යාශය මගින් ස්වයංක්‍රීයව අවශ්‍ය පරිමාවට ඉන්සියුලින් නිදහස් කර රුධිරයේ අඩංගු ග්ලුකෝස් සෛල තුලට ඇතුල් කරයි. ග්ලූකෝස් සෛල තුලට ඇතුල් වූ පසු රුධිර ග්ලූකෝස් මට්ටම පහත වැටේ. එනිසා රුධිර සීනි මට්ටම සාමාන්‍ය අගයක පවත්වා ගැනීමට ඉන්සියුලින් ඉතා වැදගත් වේ.
දියවැඩියා ප්‍රභේද
1.දියවැඩියාව කාණ්ඩ 1 (Type 1 Diabetes)
මෙම වර්ගය ඉන්සියුලින් මත යැපෙන දියවැඩියාව හෙවත් Juvenile diabetes ලෙස හඳුන්වයි මෙහි දී සිරුර තුල ඉන්සියුලින් නිපදවීමක් සිදු නොවේ. මෙම රෝගය සහිත බොහෝ රෝගීන් වයස අවුරුදු 30 පෙර රෝග ලක්ෂණ පෙන්වන අතර බොහෝ විට ඒ ළමා වියේදී හෝ නව යොවුන් වියේදීය. හඳුනාගත් අවස්ථාවේ සිට මෙම රෝගීන්ට ඉන්සියුලින් එන්නත ලබාදීම අනිවාර්ය වේ.
2.දියවැඩියාව කාණ්ඩ 2 (Type 2 Diabetes)
මෙය ප්‍රධානතම කාණ්ඩය වන අතර දියවැඩියාව කාණ්ඩ 1 ට වඩා 10 ගුණයක් පොදුය. දියවැඩියාව කාණ්ඩ 2 පොදුවේ හඳුන්වන අවදානම් සාධක වන ස්ථුලභාවය, අහිතකර ආහාර රටාව, ව්‍යායාම නොමැතිකම යන මේවා සමග ආසන්න සබඳතාවයක් පවත්වයි. අධිබර හෝ ස්ථුලභාවය ඉන්සියුලීන් ප්රතිරෝධිතාවයට හේතු වෙමින් සිරුරේ පරිවහන පද්ධතිය හා පරිවෘත්තිය අඩපන කරන රසායනික සංයෝග නිදහස් කරයි.
දියවැඩියාව කාණ්ඩ 2 රෝගීන්ගේ තත්වය ආරම්භයේදී ඖෂධ මගින් පාලනය කල හැකි නමුත් අවසානයේදී ඉන්සියුලින් ප්‍රතිරෝධිතාවය මර්දනය කිරීම සඳහා අගන්‍යාශයේ සංචිත සම්පූර්නයෙන්ම භාවිත කිරීම නිසා ඉන්සියුලින් ලබාදීම අවශ්‍ය වේ.
3.පූර්ව-දියවැඩියාව
දියවැඩියාව කාණ්ඩ 2 සහිත බොහෝ රෝගීන් ආරම්භයේදී පූර්ව දියවැඩියාව තත්වය සහිත අය වේ.
ඔවුන්ගේ රුධිර ග්ලූකෝස් අගය සාමාන්‍ය අගයට වඩා ඉහල අගයක් පවතින නමුත් එය දියවැඩියාව ලෙස හඳුනාගැනීමට තරම් ඉහළ අගයක් නොවේ.
මෙහිදී ශරීරයේ සෛල තුල ඉන්සියුලින්වලට ප්රතිරෝධීතාවයක් වර්ධනය වීම නිසා පූර්ව – දියවැඩියාව සහිත රෝගීන් ශාරීරික ව්‍යායාම හා ආහාර රටාවේ වෙනස්කම් සමඟ තම ජීවන රටාව වෙනස් නොකලහොත් වසරක් පමණ ඇතුලත දියවැඩියාව වර්ධනය වීමේ ඉහල අවධානමක් පවතියි.
4.ගර්භනි අවදියේ දියවැඩියාව
ගර්භනී අවදිය තුල කාන්තාවන්ට වැලඳෙන දියවැඩියා තත්වය ගර්භනී අවදියේ දියවැඩියාව ලෙස හඳුන්වයි. එම තත්වය ගර්භනී අවදිය හා දරු උපතේදී විවිධ සංකූලතා වර්ධනය කිරීමේ ඉහල අවදානමක් පෙන්වයි. උපදින
දරුවන්ද එවැනි සංකූලතා සහිත අය වියහැකිය. මවට ද පසුකාලීනව දිය වැඩියාව කාණ්ඩ 2 වැලඳීමේ ඉහල අවදානමක් පවතියි.
දියවැඩියාව සම්බන්ධ ඕනෑම ගැටළුවකදී ඔබට CDEM රෝහලේ දියවැඩියා ඒකකය වෙත පැමිණ ඉක්මන් ප්‍රතිකාර කරා යොමු වීමට හැකියාව පවතී.
වැඩි විස්තර සඳහා අමතන්න: 0117463600